චීන කොවිඩ් එන්නත ශ්‍රී ලාංකිකයින්ට ලබාදීම පානදුරෙන් ඇරඹේ

චීනයේ නිෂ්පාදිත සිනොෆාර්ම් කොවිඩ්-19 එන්නත ලොව පුරා හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමැතිය හිමිවීමත් සමග, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය එය, ශ්‍රී ලාංකිකයින්ට ලබා දීම ආරම්භ කළේය. එන්නත සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියද හිමි වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලාංකික පුරවැසියන්ට සිනොෆාර්ම් කොවිඩ්-19 එන්නත ලබාදීම බස්නාහිර පාළත් කළුතර දිස්ත්‍රික්කයේ පානදුර සෞඛ්‍ය කාර්යාලයේ දී ඊයේ ආරම්භ කෙරිණි.

එන්නත් කිරීමේ වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවට එක්වූ ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිලිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, මේ පිළිබඳව චීන රජයට සිය විශේෂ ස්තුතිය පුද කළේය. වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂයෙන් ස්තුති වන්ත වන බවද ඔහු ප්‍රකාශ කළේය. වසර අවසානය වන විට COVID-19 වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අවම වශයෙන් සියයට 70 කට එන්නත ලබා දීමට හැකිවෙතැයි ද ඔහු විශ්වාසය පල කළේය.

මෙම අවස්ථාවට එක්වූ ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ, වසංගත හා කොවිඩ් රෝග නිවාරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, එන්නත සඳහා අනුමැතිය හිමිවීමත් සමග චීනයෙන් තවත් එන්නත් තොග ලබා ගැනීමට අපේක්ෂා කරන බැව් පැවසීය.

වයස අවුරුදු 30 සිට 60 දක්වා ප්‍රදේශවාසීන් සඳහා පනදුර සෞඛ්‍ය කාර්යාලයේ සිනොෆාර්ම් එන්නත ලබා දීම ආරම්භ කෙරිණි. මෑතක සිට වැඩිම කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති ප්‍රදේශ ද හෙට සිට හදුනා, එම ප්‍රදේශවල ද සිනොෆාර්ම් එන්නත්කරණය සඳහා කටයුතු යදා ඇතැයි ද අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

කොවිඩ් -19 වෛරසයෙන් වඩාත් බලපෑමට ලක්වූ ප්‍රදේශ වන්නේ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයි. හැකි ඉක්මනින් මෙම ප්‍රදේශවල ජනතාවට එන්නත් ලබා දීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව ඇය පැවසුවාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් මෙම රජය කඩිනමින් ශ්‍රී ලංකාවේ ජනතාවට එන්නත් ලබා දීම අරමුණු කොට මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇතැයි ද ඇය ප්‍රකාශ කළාය.

චීන රජය විසින් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දුන් විශේෂ ප්‍රදානයක් යටතේ සිනොෆාර්ම් එන්නත පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට හිමි විය.

එන්නත ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳව චීන ජනතාවට සහ එරට රජයට සිය විශේෂ ස්තුතිය පුද කරන බව එන්නත්කරණයට එක්වූ ශ්‍රී ලාංකිකයෝ ප්‍රකාශ කළහ.

පහත පලවන්නේ චීනයේ ෂින්හුවා පුවත් ඒජන්සිය විසින් මේ පිළිබඳව ගෙන එන විශේෂ රූප රචනාවකි.

2021 මැයි 8 වන දින සිනොෆාම් එන්නත ලබා ගැනීමට සෞඛ්‍ය උපදෙස් අනුව පානදුර සෞඛ්‍ය කාර්යාලය ඉදිරිපිට පෝලිමේ රැඳී සිටින ප්‍රදේශවාසීන්
2021 මැයි 8 වන දින පානදුර සෞඛ්‍ය කාර්යාලයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් සිනොෆාර්ම් එන්නත ලබා ගත් අයුරු
පානදුර සෞඛ්‍ය කාර්යාලයේ හෙදියක් සිනොෆාම් එන්නත් මාත්‍රාව අඩංගු කුඩා බහාලුමක් පෙන්වමින්
සිනොෆාම් එන්නත ලබා ගැනීමට පානදුර සෞඛ්‍ය කාර්යාලයෙන් පිටත පෝලිමේ රැඳී සිටින ප්‍රදේශවාසීන් පිරිසක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *